Friday, December 20, 2019

එදා වැදුම්‌ගෙයි (තිඹිරිගෙයි) සිරිත්

අද මෙන්‌ එදා දරු ප්‍රසූතියට රෝහල්‌ යෑමක්‌ නැත. ඒ කාලයේදී බබා ලැබෙන්න ආසන්නයේ නිවසේ කාමරයක රෙදිවලින්‌ තිර ඇද සකස්‌ කර ගන්නා අතර එයට වැදුම්ගෙය හෙවත් තිඹිරිගෙය යයි පවසනවා.
ගර්භණී මවගේ වැඩකටයුතු සඳහා ගමේ වැඩිමහලු කාන්තාවක්‌ ළමයින්ගේ වැඩකටයුතු ගැන පළපුරුදුකම්‌ ඇති අයෙකු ලෙස පත්කර ගනියි. ඒ අයට කියන්නේ වින්නඹු මව හෝ දායම්මා යනුවෙනි. ඒ නම පටබැඳී තිබෙන්නේ දරුවන්ගේ වැඩකටයුතු සහ මවගේ වැඩකටයුතු සඳහා මනා දනුවත්කමක්‌ ඇති නිසාය.
මවට වාත අමාරුවක්ද, එසේ නැත්නම්‌ ප්‍රසව වේදනාවක්ද යන්න දනගැනීම සඳහා ඒ අයගේ පිළිවෙත මෙයයි. ගමෙන්‌ ගොඩෙන්‌ හොයාගන්න බැබිල, හීන්ගොටුකොළ, පොල්පලා, සුදුලූනු යනාදිය තමබා බීමට දීමයි. වාත අමාරුවක්‌ නම්‌ ඇරිලා යනවා. ප්‍රසව වේදනාව නම්‌ වැඩි වෙනවා.
දරුවාත්‌ මවත්‌ සැපතට පත්‌ වූ විට (දෙන්නා දෙගොඩ වැටුණු පසු) පන්සලට ගොස්‌ පූජා පවත්වා දෙවියන්ට, ඥාතීන්ට (මළගිය) පිංදෙන බවට පොරොන්දු වී කහ දියරෙන්‌ සේදු කාසියක්‌ පිරිසිදු රෙදි (සුදු රෙදි) කඩක ගැට ගසා ගැබිනියගේ ඇඳ විට්ටමේ ගැටගසන්නේ ඇය වැදුම්‌ ගෙට ගත්‌ විගසය. ඇඳ මත ගැබිනිය හාන්සි කරවා අවස්ථාවට අවශ්‍ය උණුදිය බේසමක්‌, සබන්‌, සිනිඳු කපුරෙදි කැබැල්ලක්‌ (දරුවා පිස දමීමට) කතුරක්‌ ආදිය පසෙක තබයි. නිවසේ අම්මා කාමරයෙන්‌ එළියට කොට දොර වසා ගනී.
ඉන්‌ අනතුරුව වින්නඹු මව තුන්‌ සූත්‍රය සහිත අංගුලිමාල පිරිත ගර්භණී මවට ඇසෙන සේ කියමින්‌ තලතෙල්‌ වැනි තෙල්‌ වර්ගයක්‌ ඒ මවට ප්‍රසව වේදනාව පහ වී ප්‍රසූතිය පහසු වීමට ගර්භණී මවගේ කුසයේ ගාමින්‌ සෙමෙන්‌ සෙමෙන්‌ පිරිමදිනවා. බුදුගුණ ඇසීමෙන්‌ මවගේ ප්‍රසූතිය පහසු වී ළමයා මෙලොව එළිය දකිනවා යන්න පැරැන්නන්ගේ මතයයි.
ළමයා ලැබී සුළු වෙලාවකින්‌ මව ගැන ඉතා පරීක්ෂාවෙන්‌ බලා සිටින දෙයක්‌ තමයි ළමයා කුසේ රැඳී සිටි සිවිය (වැදෑමහ) මවගෙන්‌ පහ වීම. සුළු වේලාවකින්‌ පහ නොවුණොත්‌ මව අනතුරේය. ඒ අවස්ථාවේ වින්නඹු මව අර මවගේ කෙස්‌ වැටිය හෝ හවරියක් ගෙන මුඛය තුළට දමනවා. එවිට මවගේ උගුරේ කෙස්රොද දවටුණු විට ඔක්කාර ගතියක්‌ හැදෙනවා. ඒ සමඟ අර මවගේ වැදෑමහ ඔක්කාරය හේතුවෙන්‌ පිට වන නිසා තමයි කෙස්‌ වැටිය එසේ භාවිත කරන්නේ.
වර්තමානයේ මෙන්‌ එකල වෙලාව බලාගන්න ඔරලෝසුව තිබුණේ ගමේ එහෙමත්‌ තැනකයි. ඒ නිසා ළමයාගේ උපන්‌ වේලාව ගන්නේ මෙහෙමයි. ළමයා ලැබුණු විගසම ගෙදර ඉන්න පිරිමියාට තමයි ඒ රාජකාරිය හාර වෙන්නේ. අව්ව තියෙන වෙලාවක්‌ නම්‌ පියවර මැන සකස්‌ කර ගත්තා. නැතිනම් ගෙවත්තේ තියෙන කෙසෙල්‌ ගසක්‌ කපා බිම හෙළනවා. ඒ ගසේ ගොබේ ඇඳීමේ ගණනින්‌ වෙලාව සකස්‌ කරගත්තා.
ගැබිනියගේ කෙඳිරියත්‌ නැවතී දරුවාගේ හැඬීම ඇසුණු විගස කාමරයේ දොර හැර පිට කළ අම්මා (ආච්චි) ඇතුළට ගනියි. වැඩ කටයුතු හමාර කළ විගස රන්‌ මුද්දක්‌ ආච්චි විසින්‌ දායම්මාට දෙයි. එවිට හැන්දකට ගැබිනියගෙන්‌ කිරි පොදක්‌ දොවා රන්‌ මුද්ද එහි අතුල්ලා එම කිරි දරුවාගේ කටට දමයි. එය රන්කිරි කට ගෑමයි.
පුතෙකු ලැබුණොත්‌ වැඩිහිටියො කියන්නේ සරමක්‌ ලැබුණා කියලා. දුවක ලැබුණොත්‌ කියන්නේ කම්බායක්‌ ලැබුණා කියලා. ඉතින්‌ ඒ අය දැනගන්නවා පුතාද දුවද ලැබුණෙ කියලා. ඒ කියන්නේ පුතාලා අඳින්නේ සරමක්‌ නේ. දුවලා අඳින්නේ කම්බායක්‌ නේ. එහෙම කීවේ ඒ නිසයි.
බබා ලැබිච්ච මවගේ ඇඟේපතේ වේදනාව සමනය වෙන්න කොළවතුර කියා ඹෟෂධ කොළ වර්ග (කොළ තුඹ, බෙහෙත්‌ එරඬු, නික, බෙලි, වංඇපල, ඉකිරි, යනාදියයි) තම්බා දින තුනක්‌ ඇඟ අත පය මුහුණ හංදි තුනටිය ආදී ස්ථාන තවා ඇඟ සෝදනවා. එයට තමයි කොළ වතුර නානවා කියන්නේ.
බබා ලැබීමෙන්‌ පසු උදරය නෙරා නොඒමටත්‌ තුනටිය වේදනා නැති වීමටත්‌, අටරියනක්‌ පමණ දිග සාරියක්‌ හෝ වේට්ටියක්‌ වැනි රෙද්දක්‌ අඟල්‌ 6-7 පමණ මහතට නවා සතියේ හොඳ දවසක්‌ තෝරාගෙන වැඩිහිටි කාන්තාවක විසින්‌ ඉණට ඔතනවා. එයට තමයි වෙළුම දමීම කියන්නේ.

නැකතක්‌ සාදවා දරුවා එළියට වඩන තුරු කාමරයෙන්‌ පිටතට නොගනියි. නියමිත දින  නැකතට දරුවා සුදු රෙද්දකින්‌ ඔතා දායම්මා නැකතට දොරකඩින්‌ මිදුලට බැස  ගෙට ගොඩ වී ආච්චි අතට දරුවා දෙයි. නිවසේ කිරිබත්‌ උයා කැවුම්‌ සාදා ගෙදර කවුරුත්‌ එක්‌ වී තේ පැන්‌ සංග්‍රහය භූක්ති විඳිති.
ඉන්පසු දරුවා සහ මව නිදුක්‌ නීරෝගීව සිටී නම්‌ ඉදිරියට ඇති පුරපසළොස්වක පොහොයට ගමේ ජනතාවගේ දුක, සැප දෙකට පිහිට වන ප්‍රධාන වයස්ගත උපාසිකාව පැමිණ දරුවාත්‌ මවත්‌ පවුලේ කිහිප දෙනෙක්‌ සමඟ විහාරයට ගොස්‌ ඒ පින්කම්‌ කොට දරුවාටත්‌ මවටත්‌ සෙත්පතා පොරොන්දු වූ බාරය ඉටුකරති.

පොත පත හා ජන ශ්‍රැති ඇසුරිනි.

Sunday, July 14, 2019

 
ජනශ්‍රැති යනු මොනවාද?
 
ජනශ්‍රැතිය යන්න ජනප්‍රිය වදනකි. එහෙත්‌ එය ගැඹුරු අර්ථයක්‌ දනවන පුළුල්‌ ක්‍ෂේත්‍රයක්‌
ආවරණය කරන විෂයයක්‌ බව බොහෝ දෙනා විසින්‌ අවබෝධ කොටගෙන ඇති බවක්‌
නොපෙනේ. සාමාන්‍ය ජනතාව ජනශ්‍රැති රස විඳින්නන්‌ මිස විශේෂඥයෝ නොවෙති. එහෙත්‌
ජනශ්‍රැති පිළිබඳ මනා අවබෝධයක්‌ ලබන්නේ නම්‌ ඒවායේ නියම වටිනාකම ඔවුන්‌ විසින්‌
වටහා ගන්නවාට සැකයක්‌ නැත. එවිට සැම සමාජයකම සංස්කෘතික උරුමයක්‌ ලෙස
සැලකෙන තමතමන්ගේ ජනශ්‍රැති ආරක්ෂා කිරීම, අධ්‍යයනය කිරීම හා සංරක්ෂණය කිරීම
ජනතාවට පහසුවනු ඇත. එහෙයින්‌ එකී අවබෝධය පොදු ජනතාවටද ලබා දීම සඳහා
ජනශ්‍රැති විෂයය පිළිබඳ මූලික කරුණු සරලව ඔවුන්‌ වෙත ලබා දීම අත්‍යවශ්‍ය මෙහෙවරක්‌
ලෙස සැලකිය යුතුව ඇත.
 
ජනශ්‍රැති පිළිබඳ මූලික අවබෝධයක්‌ ලබාගැනීමේදී අදාළ වචන බණ්ඩ නිර්වචන
කොටගැනීම වැදගත්‌ වනු ඇත. චිවිධ විද්වතුන්‌ විවිධ ලෙස අර්ථ විග්‍රහ කිරීම සාමාන්‍ය
සිද්ධියක්‌ වුව ද ඒ සියලු විවිධතාවන්‌ සලකා බලා පොදු අදහසක්‌ ලබා "අප කථා කරන්නේ
මෙම අර්ථයෙන්‌ ය”යි සම්මත කොටගන්නේ නම්‌ අප කථා කරන දෙය නිවැරදිව නිරවුල්ව
අන්‍යයන්ට සංනිවේදනය කිරීමට අපට හැකි වනු ඇත. එපමණකුදු නොවේ, ජනශ්‍රැති
පිළිබඳ නිර්වචන කිරීමේදී ජනශ්‍රැති යනු මොනවාදයි යන්න නිවැරදිව අවබෝධ
කොටගැනීමට පමණක්‌ නොව එහි විෂය පථය හඳුනාගැනීමටද ඉඩකඩ ලැබෙනු ඇත.
එවිට ජනශ්‍රැතිවලින්‌ සිදු වන සේවාවන්‌ මොනවාදයි සොයා බැලීමද පහසු වනු ඇත.
ජනශ්‍රැතිවලින්‌ අත්‌ වන ඵලප්‍රයෝජන හඳුනාගත හැකි වනු ඇත. ඒවායේ අන්තර්ගත
කරුණුවලින්‌ පලදායක හා සුබදායක තොරතුරු වෙන්‌ කොට හඳුනාගැනීමෙන්‌ ඒවා
වර්තමානයේ සමාජ ශුභ සිද්ධිය වෙනුවෙන්‌ යොදාගැනීමේ හැකියාව විමසිය හැකි වනු ඇත.
 රටෙ ජාතියේ ඉතිහාසය හා පැරැණි සමාජය අධ්‍යයනය කිරීමේදී ජනශ්‍රැතිවලින්‌ ලබාගත හැකි 
දායකත්වය තේරුම්ගත හැකි වනු ඇත.
 
"ජනශ්‍රැති” නිර්වචන කිරීමේ පහසුව සඳහා එම වචනයේ සැකැස්ම සලකා බැලූ විට එහි
කොටස්‌ දෙකක්‌ දක්නට හැකිය. එනම්‌ "ජන” හා "ශ්‍රැති” වශයෙනි. ජන යනු කිසියම්‌ ජන
කොට්ඨාසයක්‌ නැතහොත්‌ ජන සමූහයක්‌ යයි අර්ථ දැක්විය හැකිය. සමාජයක්‌ යනු
පුද්ගලයන්‌ කිහිප දෙනෙකුගෙන්‌ හෝ රාශියකින්‌ සමන්චිත ඒකකයකි. එහෙයින්‌
ජනශ්‍රැතිවල මූලික පදනම නොහොත්‌ අත්‍යවශ්‍ය සාධකය ලෙස ජනතාව සැලකිය හැකි බව
මින්‌ අදහස්‌ කෙරේ. ජනතාවගෙන්‌ බැහැරව ජනශ්‍රැති පැවැතිය නොහැකි බව මින්‌ අපට
අවධාරණය කෙරේ. අනෙක්‌ අතට "ශ්‍රැති" යනු අසන දෙය. මුඛ පරම්පරාගතව පැවත එන
දේමය. එනම්‌ එවන්‌ ජන කොට්ඨාසයක්‌ වෙතින්‌ නැතිනම්‌ ඒ ජන කොටස පිළිබඳ අසන්නට
ලැබෙන දේය. විවිධාකාරයෙන්‌ විවිධ දේ අසන්නට හැකිය. එසේ ඇසීම පදනම්‌ කොටගත්‌ දෑ
ශ්‍රැති නමින්‌ හඳුන්වනු ලබන බව මෙහිදී ධ්වනිත කරවයි. ඒ අනුව ජනශ්‍රැති යනු ඉතා සරල
ලෙස අර්ථ දක්වන්නේ නම්‌ ජනතාව විසින්‌ ජනතාව පිළිබඳ ජනතාව මඟින්‌ අසනු ලබන දේ
යයි හැඳින්විය හැකිය. අසන්නේ කියනු ලබනු දෙය වන බැවින්‌ ජනශ්‍රැති යනු වාචිකව
නොහොත්‌ මුඛ පරම්පරාගතව පැවත එන දෙයක්‌ බව නිගමනය කළ හැකිය. මහාචාර්ය 
ජේ.බී.දිසානායක සූරීන්‌ විසින්‌ මෙය ඉතා පැහැදිලිව මෙසේ දක්වා ඇත. "ජනශ්‍රැති යන පදයෙන්‌ 
අදහස්‌ කෙරෙන්නේ
කිසියම්‌ ජන කොට්ඨාසයක්‌ අතර මුඛ පරම්පරාගතව එන ව්‍යවහාර සමුච්චයයි.” (ජනශ්‍රැති
ශබ්ද කෝෂය)
 
අනෙක්‌ අතට ජනශ්‍රැති අධ්‍යයනය කිරීමේදී අපේ අවධානය යොමු විය යුතු සරල
නිර්වචනයක්‌ අපේම වූ ජනශ්‍රැති ශබ්‌ද කෝෂය විසින්‌ අපට ලබා දී ඇත. එහි දැක්වෙන පරිදි 
ජනශ්‍රැති නම්‌ ජනතාව අතර ඇති කට කථා හෙවත්‌ ආරංචි, ජනප්‍රවාද, මුඛ පරම්පරාවෙන්‌
එන පුරාවෘත්ත, ජනප්‍රවාදයෙන්‌ පැවැත ආ සම්මත චාරිත්‍ර ආදියයි." ජනශ්‍රැති විෂයය තුළ 
ආවේණක වූ ගුණයන්‌ ලෙස සැලකෙන ජන පදනම හා වාචික ගුණය මෙහිදීද ඉස්මතු කොට
දක්වන බව කැපී පෙනෙයි. ජනශ්‍රැති විෂය ක්‍ෂේත්‍රය ජාතියක සංස්කෘතික උරුමයක්‌ වශයෙන්‌ 
සලකා කෙතරම්‌ වැදගත්‌ ස්ථානයක්‌ නූතන සමාජය තුළ ලබා ඇද්ද යත්‌ අද එය ජගත්‌ සංවිධානවල
 අවධානයටද යොමු වී ඇත. යුනෙස්කෝ ආයතනයේ නිර්දේශ හා අනුග්‍රහය මත පිහිටුවන ලද
 ජනශ්‍රැති පිළිබඳ නිල ජගත්‌ සංවිධානය ලෙස හැඳින්විය හැකි ජනශ්‍රැති ආරක්ෂා කිරීම පිළිබඳ වූ
 රාජ්‍ය විශේෂඥයන්ගේ කමිටුව 1985දී ජනශ්‍රැති පිළිබඳ ඉදිරිපත්‌ කරන ලද නවතම හා ඉතාම පුළුල්‌
 අර්ථ විග්‍රහය අපට මෙහිදී ඉතා වැදගත්‌ වන බව අවධාරණය කළ යුතුය. එහි මෙසේ දක්වේ.
 "ජනශ්‍රැති (පුළුල්‌ අර්ථයෙන්‌ පාරම්පරික හා ජනප්‍රිය ජන සංස්කෘතිය) නම්‌ සිය සංස්කෘතික හා
 සමාජයීය අනන්‍යතාව ප්‍රමාණවත්‌ ලෙස ප්‍රකාශනය වෙතැයි ප්‍රජාවක්‌ තුළ ඇති අහිලාෂයන්‌ පිළිබිඹු 
කරන, සමූහයක්‌ නිමිති කොටගන්නා වූ සම්ප්‍රදාය මත පදනම්‌ වූ සමූහයන්ගේ නැතිනම්‌ පුද්ගලයන්ගේ 
නිර්මාණයකි. එහි අගයන්‌ හා හරයන්‌ 'අනුකරණයෙන්‌ හෝ වෙනත්‌ මඟකින්‌ කට වචනයෙන්‌
 විකාශනය කරනු ලබයි.” ජගත්‌ මට්ටමේ විශේෂඥයන්ගේ කමිටුව විසින්ද, උලුප්පා දක්වා ඇත්තේ 
ජනශ්‍රැති සතු වන ප්‍රධාන ගුණයන්‌ දෙක වන ජන පදනමත්‌ වාචික ගුණයක්‌ බව අපට පෙනී යයි.
 ඒ අනුව අප විසින්‌ අවබෝධ කොටගත යුතු වැදගත්‌ කරුණක්‌ ඇත. එනම්‌ ජනශ්‍රැති නිර්වචන පිළිබඳ
 කථා කිරීමේදී නොයෙක්‌ විද්වතුන්‌ අතර ඒවායේ විස්තර දක්වීමේදී එකඟතාවක්‌ නොතිබුණද මූලික 
හරය වශයෙන්‌ ගත්‌ කල එකී දෙයාකාර ගුණයන්‌ පිළිබඳ කිසිදු මතභේදයක්‌ නැති අතරම ඒ වෙනුවට 
ඇත්තේ එකඟතාවක්‌ බවය. වෙනත්‌ අන්දමකින්‌ පවසන්නේ නම්‌ ජනශ්‍රැති යනු ජන සංස්කෘතියේ
(ජනතාවගේ) සංකීර්ණ වූ ක්‍රියාකාරකම්‌ ප්‍රකාශනය කරන (වාචික) මාධ්‍යය වේ.
 
ජනශ්‍රැති විද්‍යාඥයන්ගේ අවධානයට යොමු විය යුතු තවත්‌ නිර්වචනයක්‌ ඇමරිකන්‌ ජාතික 
ටේලර්‌ විසින්‌ සපයා දී ඇත. එනම්‌ "ජනශ්‍රැති යනු වාචිකව හෝ සිරිත්විරිත්‌ මඟින්‌
සම්ප්‍රදායෙන්‌ උරුම කරනු ලැබූ දෙයකි. වාචිකව එන ජන කථා, ජන ගී, ආප්තෝපදේශ,
තේරවිලි ආදිය විය හැකියි. එය අවිආයුධ ආදී සම්ප්‍රදායානුකූලව එන භෞතික දේවල්‌ චිය හැකිය.
 සම්ප්‍රදායික චර්යා විය හැකිය. එය සාම්ප්‍රදායික ඇදහිලි විශ්වාස විය හැකිය.” ඒ හැම දෙයම
 ජනශ්‍රැතිය.
මෙහිදී අපට වැදගත්‌ පණිවුඩයක්‌ ලබා දෙයි. එනම්‌ ජනශ්‍රැති යනු වාචිකව හෝ සිරිත්විරිත්‌
මගින්‌ සම්ප්‍රදායෙන්‌ උරුම කරනු ලබන දේ බවයි. අතීතයෙන්‌ වර්තමානයට ගෙන එනු ලබන
අතීතය විවරණය කරන තොරතුරු බවයි. ජනශ්‍රැති යනු මානව ශිෂ්ටාචාරයේ නිර්මාණයන්‌
ලෙස සලකන ජනශැති විශාරදයකු වූ ඉන්දීය ජාතික මෂාරුල්‌ ඉස්ලාම්‌ ජනශ්‍රැති යනු
වාච්‍යාර්ථයෙන්‌ (වාචික කලා) හෝ ද්‍රව්‍යමය ස්වරූපයෙන්‌ ප්‍රකාශනය කරනු ලබන
මිනිසුන්ගේ නිර්මාණශීලී අදහස්වල ප්‍රතිඵලයන්‌ බව සඳහන්‌ කරයි. එයින්ද අපට අවබෝධ
කොට දෙනු ලබන්නේ. සමාජයේ සිදු කරනු ලැබූ සියලු ක්‍රියාකාරකම්‌ අනාගතය සඳහා
පවත්වාගෙන ඒමට දෙයාකාර වූ මාධ්‍යයක්‌ එනම්‌ මුඛ පරම්පරාගත හා ද්‍රව්‍යමය මාධ්‍යයන්‌
යොදාගෙන ඇති බවත්‌ ඒ මඟින්‌ උරුම කොට දෙනු ලැබ ඇති ජන සමූහයන්ගේ නිර්මාණශීලී
අදහස්‌, හැඟීම්‌ හා ඒවා ක්‍රියාවට නංවන ලද භෞතික නිර්මාණයන්‌ ජනශ්‍රැති තුළින්‌
විද්‍යාමාන වන බවත්ය.
 
ජනශ්‍රැති යනු සරල වදනක්‌ ලෙස පෙනී ගියද එහි යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස්‌ බව
හොඳින්‌ අවබෝධ කොටගැන්මට තුඩු දෙන්නා වූද ජනශ්‍රැති හදාරන්නන්‌ විසින්‌ දත යුත්තා වූද
වැදගත්‌ කරුණක්‌ ඇත. එනම්‌ 1949 දී ප්‍රකාශයට පත්‌ කරන ලද Standard Dictionary of Folklore
නම්‌ ජනශ්‍රැති පිළිබඳ වූ ශබ්දකෝෂයේ ජනශ්‍රැති වෙනුවෙන්‌ නිර්වචන 21ක්‌ ඉදිරිපත්‌ කොට
ඇති බවයි. කරුණු එසේ වූ විට ජනශ්‍රැති අධ්‍යයනය ඉතා ජනප්‍රිය ලෙස පුළුල්‌ වී ගොස්‌ ඇති 
පසුගිය අඩ සියවස්‌ කාලය තුළ තව කොපමණ නම්‌ එකිනෙකට වෙනස්‌ වූ නිර්වචන බිහි 
වන්නට ඇද්දැයි කෙනෙකුට සිතාගත හැකි වනු ඇත.
 
එහෙත්‌ ජනශැති පිළිබඳ ලබා දී ඇති සියලු නිර්වචන හා විග්‍රහයන්‌ සලකා බැලීමේදී අපට
ප්‍රත්‍යක්ෂ වන එක්‌ වැදගත්‌ සත්‍යයක්‌ ඇත. එනම්‌ ජනශ්‍රැති වශයෙන්‌ අප විසින්‌ හඳුන්වනු
ලබන්නේ යම්‌ නිශ්චිත ප්‍රකාශන මාධ්‍යයක්‌ බවයි. එය යමක්‌ විකාශනය හෝ සංනිවේදනය කිරීම
සඳහා යොදාගන්නා ලද උපාය මාර්ගයකට අප විසින්‌ ලබා දී ඇති නාමය බවයි. එකී මාධ්‍යය
මඟින්‌ විකාශනය කරනු ලබන්නේ යම්‌ දැනුම්‌ සම්භාරයකි. මූලික චශයෙන්‌ එම දැනුම්‌ අයත්‌
වන්නේ ලිඛිත මාධ්‍යයක්‌ උපයෝගී කොට නොගත්‌ නූතනයේ ප්‍රචලිතව ඇති අන්දමේ අධ්‍යාපන ක්‍රමවේදයක්‌ නොතිබුණ පැරැණි සමාජයන්ටය. ඒවා වර්තමානය දක්වා ගෙන එනු ලැබ ඇත්තේ මුඛ පරම්පරාවෙනි. මෙම ක්‍රමවේදය හැඳින්වීමට අපි ජනශ්‍රැති යයි නාමයක්‌ භාවිතා කරමු.


ජනශ්‍රැති යයි අප විසින්‌ ඊට සිංහල යෙදුම යෙදීමේදී එහි අන්තර්ගතයට අයත්‌ අනෙක්‌ සියලු දේ
අතර මිනිසුන්ගේ ගතිපැවතුම්‌, සිරිත්විරිත්‌, චර්යා ධර්ම, මිථ්‍යා විශ්වාස, කවි, කථා, ප්‍රස්තාව
පිරුළු ආදිය ඇතුළත්‌ කළ හැකි බව යන්න සැලකිල්ලට ගැනීමෙන්‌ මුඛ පරම්පරාගතව එන
සියලු ආකාරයේ පැරැණි දුනුම්‌,අදහස්‌, හැඟීම, භෞතික නිර්මාණ ආදී කොටගත්‌ දෑ සියල්ල
කෙටියෙන්‌ දක්වීමට සකසාගන්නා ලද පහසු යෙදුමක්‌ බව පෙනී යයි.
 
විශේෂයෙන්‌ සියලු වෘත්තීන්‌ ආශ්‍රය කොටගත්‌ දුක්‌ දොම්නස්‌ ආදිය ප්‍රකාශනය කිරීමෙහිලා
යොදා ගත්‌ කචි, ගී ප්‍රබන්ධ ජනප්‍රිය ජනශ්‍රැති අංග වී ඇති අන්දම පැල්‌ කවි,පතල්‌ කවි,
ආදියෙන්‌ මොනවට සනාථ කරනු ලබයි. ගොවියාගේ හැඟීම්‌ පළකරන මෙම කව්‌ දෙස
බලන්න. ඒවායේ සමාජයේ හැඟීම්‌ මනාව ප්‍රකාශ කරනු ලැබ ඇත.
 
කල්බලා නොවෙද ගොවිතැන්‌                       කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද                          පැසෙන්නේ
සෙනසුරා නෙවෙද වැහිපල                          නුදුන්නේ
ලොව්තුරා බුදුන්‌ කවදද                             දකින්නේ
 
ලස්සන හිමවතේ මාවී                             පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන්‌ පන්නා                           හරින්නේ
රැක්මෙන්‌ දෙවියනේ වෙල බත්‌                        බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල්‌                            රකින්නේ
 
කෙතේ වැඩෙහි යෙදෙන ගොවියාට පමණක්‌ නොව ගැල්කරුවාටද මුහුණ දෙන්නට සිදු වූ
අතෝර අපමණ බව කරත්ත කවිවලින්‌ කියැවෙන අන්දම මෙසේ දැකිය හැකිය.
 
දුප්පත්කමට ගොන්‌ බැඳලා                                                  දක්කනවා
කන්ටත්‌ නැතිව දිවා රැ අප                                              වෙහෙසෙනවා
ගොන්ටත්‌ නොයෙක්‌ වඳ දී අපි                                             ගෙනියනවා
දුන්වත්‌ දුකට දෙවියෝ පිහිටක්‌                                                 වෙනවා
 
වයිරා ගොනා දණ ගහලා අදින                                                කොට
මයිල ගොනා පැන්නයි පස්සට                                                 හොරට
මොකද කරන්නේ පූරුවෙ කළ                                                   පවට
පව කළ ගොනෝ ඇදපන්‌ ගාල                                                 ගාවට
 
පතල්‌ වැඩ අතිශයින්‌ දුෂ්කර කටුක වූ හෙයින්‌ එහි නිරත වූවන්‌ වින්දේ ඉමහත්‌ දුකකි. පතල්‌
කවිවලින්‌ ප්‍රකාශනය වූයේ මේ දුක්‌ කන්දරාවයි.
 
ඉන්නෙත්‌ දුම්බරයි මහ කළු ගලක්‌                                             යට
කන්නෙත්‌ කරවලයි රට හාලේ                                                බතට
බොන්නෙත්‌ බොර දියයි පූරුවෙ කළ                                           පවට
යන්නේ කවදාද මවුපියො                                                  දකින්නට
 
සබරගමුව එළියයි පෙරහැර                                                     දාට
කබරගොයින්‌ එනවා වැහි පොද                                                 දාට
දබරමඩුව පාළුයි අපි නැති                                                      දාට
දබරේ ගල්‌ චෙයන්‌ හෙට එළි වෙන                                               දාට
 
ජනශ්‍රැති විෂය පථය ගැන විමසීමේදී දේශීය වෙදකම මෙන්ම විනෝදය, ජන කෙළිසෙල්ලම්‌ ආදී
ක්‍ෂේත්‍රයන්‌ ගැන සඳහන්‌ නොකරන්නේ නම්‌ බලවත්‌ අඩුපාඩුවකි. මෙරට ජනශ්‍රැති ක්‍ෂේත්‍රයේ ඒවා
එපමණටම බහුලව ප්‍රචලිතව පවතිනවා පමණක්‌ නොව ජනප්‍රියතාවක්ද දරනු දකිය හැකිය. දේශීය
වෙදකම මුළුමනින්ම පරම්පරාගතව පවතින අතර දෑනුම මුඛ පරම්පරාවෙන්‌ පැවත ආවකි.
පසුකාලීනව ලේඛනගත වුවද තවමත්‌ දූනුම බෙදා හැරීම පාරම්පරික වෛද්‍යවරුන්‌ අතින්‌ සිදු
වන්නේ මුඛ සම්ප්‍රදායෙන්මය. එපමණක්ද නොවේ, මෙම දනුම්‌ සම්භාරය සෘජු උගැන්වීම්‌
වශයෙන්ම ගෙන එනු ලැබුවා නොවේ. තේරවිලි, ප්‍රහේලිකා ගැටපද වශයෙන්‌ ඒවා සංනිවේදනය
වූ බැවින්‌ ජනශ්‍රැති ක්‍ෂේත්‍රයට අලුත්‌ විෂයයන්ද එකතු කරනු ලැබ ඇති අන්දම මෙම ග්‍රන්ථයේ මතු
දුක්වෙන ජනතාවගෙන්‌ රැස්‌ කරන ලද ජනශ්‍රැති සම්භාරය මඟින්‌ ප්‍රත්‍යක්ෂ කොටගත හැකි වනු
ඇත. දේශීය වශයෙන්‌ පවතින බොහෝ ජන ක්‍රීඩා ජනශ්‍රැති වශයෙන්‌ එකතු වන්නේ ක්‍රීඩා නිසාම
නොව ඒවා හා බැඳී ඇති කවි, ගී, කථා සම්භාරය නිසාය. හෙළයේ ජන කෙළිසෙල්ලම්‌ අතර
නැටුම්ගැයුම්වලින්‌ තොර අංගයක්‌ නොමැති වන තරමට කවි, ගී නැටුම්වලින්‌ පිරි ඇත. ඒවා
ආගමික පදනමකින්‌ ද යුක්ත වන බැවින්‌ ගායනය මෙන්ම නර්තනය ද නිරතුරුවම දකිය හැකිය.
ඔන්චිලි පැදීම වේවා, කළගෙඩි සෙල්ලම වේවා, එළුවන්‌ කෑම වේවා, ඔලිඳ කෙළිය වේවා,
පොරපොල්‌ ගැසීම, අං කෙළිය චේවා ප්‍රධාන අවධානය යොමු වන්නේ ගායනයට හා නැටුමටය.
එහෙයින්‌ ජනශ්‍රැති ක්‍ෂේත්‍රයේ මේවා වැදගත්‌ තැනක්‌ උසුලයි.
 
ජනශ්‍රැති අතර දක්නට හැකි විනොදය, සෞන්දර්ය රසවිඳීම පමණටම දුක වේදනාවද කියැවෙන
අංග බොහෝය. වෙස්සන්තර කවි ගායනා ජන සමාජයේ ඉතා ජනප්‍රිය අංගයකි. එහෙත්‌ දුක්‌
වේදනා ප්‍රකාශනයෙහිලා ජන කවි මාධ්‍යය යොදාගැනීම එවැනි අවස්ථාවලට සීමා වී නොමැති
බව මවු සෙනෙහස අහිමි වී ගිය දරුවන්ගේ අඳෝනා කියැවෙන කවිවලින්‌ මොනවට පෙනී යයි.
 
ඉරපායා ඉර මුදුනට එන්න                                                        එපා
සඳ පායා සඳ මුදුනට එන්න                                                       එපා
පෑදි දියට බොරදිය එක්‌ වන්න                                                     එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න                                                 එපා
 
දරුවන්ගේ අදෝනාව තරමටම අම්මාවරුන්ගේ දුකද ජන කවිවල එමට දැකිය හැකිය.
 
බඩගිනි වෙලා මම ගිය කල පුතුගෙ                                               ගෙට
මැනලා වී තිඹක්‌ දුන්නයි                                                      මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි                                                  මට
මැනලද පුතේ කිරි දුන්නේ මම                                                    නුඹට
 
සමාජයේ සියලු දෙනාට දුක්‌, වෙදනා, විවිධ හේතුන්‌ නිසා ඇති විය හැකිය.
 
වෙල්‌ යායක ගොන්‌ දෙන්නෙක්‌                                             කකා උනී
ඉන්‌ එක ගොනෙක්‌ වලිගය නැතිව                                          වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට                                               බැට දුනී
දුප්පත්කමත්‌ වලිගය නැති                                               ගොනා මෙනී
 
කිරි බල බලා කිරි කුරහන්‌ ගිරව්‌                                                කපයි
අල බර අල පඳුරු සොරු බිඳ දමා                                                දුවයි
තද සුළඟට ගස්වැල්‌ ටික බිමට                                                නැමෙයි
අපෙ බැරිකමට නෑනේ පැල්‌ රැකුම                                             හොඳයි
 
අඟුලේ රඟ දැනෙන්නේ පැද්ද කල්හී                                         ගඟේයා
නගුලේ රඟ දැනෙන්නේ වෙල මැද                                           මඬේයා
උගුලේ රඟ දැනෙන්නේ ඊට අහුවුණු                                         තැනේයා
මඟුලේ රඟ දැනෙන්නේ දූ පුතුන්‌ ලත්‌                                        තැනේයා
 
ගැමි කවියා ගැඹුරු සමාජ දර්ශනයක්‌ කවියට නඟා කීමෙන්‌ තම දුක නැති කරගන්නට ගන්නා
ලද උත්සාහය ඉන්‌ පෙනී යනු ඇත.
 
මේ ආකාරයෙන්‌ සලකා බලන විට ජනශ්‍රැති විෂය ක්‍ෂේත්‍රයට අයත්‌ වන්නේ වාචන
සම්ප්‍රදායෙන්‌ ගෙන එනු ලබන දනුම්‌ හා අදහස්‌ සියල්ල නැතිනම්‌ අභෞතික අද්‍රව්‍යමය නිර්මාණ
සම්භාරය පමණක්‌ ද යන ප්‍රශ්නය පැන නැඟිය හැකිය. ජනශ්‍රැති විෂය පථය හුදු දැනුම්‌ සම්භාරයට
පමණක්‌ සීමා කළ නොහැකි බව අද ජනශ්‍රැති විශේෂඥයන්ගේ පිළිගැනීම ද වී ඇත. එනම්‌ එකී
දුනුම්‌ සම්භාරය යනු හුදු න්‍යායයන්‌ පමණක්‌ නොවීය. එය සමාජ අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය
කරන භෞතික නිර්මාණ බිහි කිරීමට යොදාගන්නා ලද ප්‍රායෝගික ගුණයෙන්‌ හා අගයෙන්‌ යුත්‌
දුනුම්‌ සම්භාරයක්‌ විය. ජන චින්තනයක්‌ විය. එහෙයින්‌ ජනශ්‍රැති මඟින්‌ පිළිබිඹු වන ඉපැරැණ
සමාජයේ දනුම ඇස්පනා පිට ප්‍රායෝගිකව දුකගත හැකි වූ ඔවුන්ගේ භෞතික නිර්මාණද ජනශ්‍රැති
විෂයයට අයත්‌ විය යුතුය යන්න අප අමතක නොකළ ශුතුධඞ. උදාහරණයක්‌ ලෙස ජල
කළමනාකරණය පිළිබඳ පැරැන්නන්ගේ දානුම විදහා දක්වන ජනශ්‍රැති සමඟ ඔවුන්‌ විසින්‌
නිර්මාණය කරන ලද වැව්‌, අමුණු, ඇළමං ජනශ්‍රැති අධ්‍යයනයකදී වැදගත්‌ වේ. වාස්තු විද්‍යාත්මක
දුනුම්‌ සම්භාරය නිවැරදිව අවබෝධ කොටගැනීමට වෙහෙර, විහාර, ස්තූප, ලෙන්‌, වාසල්‌ ආදී
සියල්ල ගැඹුරින්‌ අධ්‍යයනය කළ යුතු බැවින්‌ ඒවා ජනශ්‍රැතියෙන්‌ බැහැර කළ නොහැකිය. කෘෂි
චක්‍රය පමණක්‌ නොව ඒ ආශ්‍රයෙන්‌ එන සාහිත්‍ය යෙදුම්ද මනාව වටහාගැනීම පිණිස කෘෂි
ආම්පන්න පිළිබඳ දත යුතුය. මුල්‌ හීය, දෙ හීය, තුන්‌ හීය, තේරුම්ගැනීමෙදී මෙන්ම "හානා හීය
පානා අඬ හැරෙන්‌ දානේ " යන්න හෝ "කණකැස්බෑවා වියසිදුරෙන්‌ අහස බලන්නා වැනි” යන්න
හෝ "වියගසේ දුරට වැඩිය නොබලා _ යන්න හෝ නිවැරදිව අවබෝධ කොටගැනීමට එකී නගුල
කුඹුරු ගෙවත්ත වනයේ පලවැල රැස්‌ කිරීම දක්වාද කෙතේ කුඹුරේ කටයුතුවල සිට උත්සව
පැවැත්වීම දක්වාද ඉතිරි පැතිරි ඇති අන්දම ගොවිතැන හා බැඳුණු ජනශ්‍රැති සම්භාරය අධ්‍යයන
තුළින්‌ දැකගත හැකි වනු ඇත.
 
එහෙයින්ම ජනග්‍රැතිවලින්‌ ඉටු කෙරෙන තවත්‌ මෙහෙවරක්‌ අපට හඳුනාගත හැකි වනු ඇත.
එනම්‌ ඉපැරැණි දානුම්‌ සම්භාරය අද අපට අධ්‍යයන කිරීමට හෝ හැකි වී ඇත්තේ ජනශැති මඟින්‌
ඒවා ආරක්‍ෂා කරන ලද බැවිනි. විශේෂයෙන්‌ මුඛ පරම්පරාගත සම්ප්‍රදායන්‌ සමාජ විපර්යාසයන්‌.
විදේශ ආධිපත්‍යයන්‌ ආදි බාධක හේතු කොටගෙන විනාශ වීම ඉතා ක්‍ෂණිකව සිදු වනු දූකිය හැකි
වුවත්‌ ජනතාව අතර විනෝදය හා ආස්වාදය සඳහා ද ජනශ්‍රැති යොදාගැනීම නිසා ඒවා රැකගෙන
ඒමට හැකි වූ හෙයින්‌ ඒවායේ අන්තර්ගත වූ දනුම්‌ සම්භාරයන්ද ආරක්‍ෂා කොටගෙන එනු ලැබිණ.
ජනශ්‍රැතිවලින්‌ ඉටු වී ඇති ප්‍රශංසනීය සේවාවක්‌ ලෙස මෙය ජනශගැති විශාරදයන්ගේ ඇගැයීමට
ලක්ව ඇත.
 
ජනශැති මඟින්‌ විදහා දුක්වෙන සේවාවන්‌ අතර සාහිත්‍යය නිසි පරිද අවබෝධ කොටගැනීමට,
රස විඳීමට හා ඉගෙනීමට ලබා දෙන රුකුල අතිමහත්‌ බව පෙනෙ. "සාහිත්‍යයක්‌ තේරුම්ගන්න
උණත්‌ ජනශුති ප්‍රධානයි. ජනශ්‍රැතියේ එන මිථ්‍යාකථා තේරුම්‌ නොගෙන සමහර සාහිත්‍ය අංග
වටහාගන්න බැහැ. කවි සමය කියා අපේ පැරැණි කවියන්‌ හඳුන්වන දුයින්‌ වැඩි හරියක්‌
ජනශ්‍රැතියයි. මහමෙර තියෙන තැන, අනවතප්ත විලේ ස්වභාවය, ලෝකය උසුලන ඇතුන්‌, සත්‌
සාගරය, අනංගයා, මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම ජනශ්‍රැතියෙන්‌ මතු වූ දේවල්‌, ඒවා
සම්බන්ධ උපත්‌ කථා, මිථ්‍යා කථා හා වෙනත්‌ කරුණු නොදන සාහිත්‍යය තේරුම්ගන්න බැහැ යයි
මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සෘජු ලෙසම කියාපායි.
 
සාහිත්‍යය ගණයෙහිමලා සැලකෙන සමාජයේ සාමාජිකයන්ගේ සෞන්දර්යාත්මක හැඟීම,
අදහස්‌, ආකල්ප, ප්‍රකාශනය කිරීම ජනශ්‍රැතිවල බෙහෙවින්‌ දක්නට ලැබෙන කාර්යාවලියකි.
ස්වභාවධර්මයේ වචිවිධ නිර්මාණ පිළිබඳව මෙන්ම සමාජයේ අවශේෂ සාමාජික සාමාජිකාවන්‌
පිළිබඳව ඇති වන සතුට, ආශාව, ආදර හැඟීම්‌, විරහව ආදි කොටගත්‌ විවිධ හැඟීම්‌ ජන කවි,
ජන ගී. ජන කථා, පිරුළු. ආප්තෝපදේශ, ප්‍රවාද වැනි නිමක්‌ නැති මාර්ග ඔස්සේ ප්‍රකාශ කිරීමට
ගත්‌ උත්සාහයන්‌ අද ජනශ්‍රැති අතර වැදගත්‌ තැනක්‌ උසුලනු දකිය හැකිය. සඳ තරු පායන රැස,
හිරුගෙන්‌ විකසත වන පියුම්‌, වන මල්‌, වන බිඟු, සියොත්‌ කැල, වැස්ස, දේදුන්න, ගලන දිය
පහරක ලාලිත්‍යය, ගලා හැලෙන දිය ඇල්ලක චමත්කාරය, පචනේ සැනසුම, තරුණියකගේ රුව,
සිනාව, ගමන, වදන්‌ ආදි කොටගත්‌ සියල්ල හදවතින්ම විඳගත්‌ ජනයා ඒ තුළින්‌ හටගත්‌
ප්‍රබෝධය, හැඟුම්‌ ප්‍රකාශනය කිරීමට යොදා නොගත්‌ මඟක්‌ නැති තරම්ය.
 
ජන කවියාගේ හැඟීම්‌ ප්‍රකාශනයේදී කවිය මාධ්‍යය කොටගැනීමෙහිලා දක්වා ඇති කුසලතාව
මොනවට සනාථ කරන පබැඳුම්‌ ජනශ්‍රැතියේ අපමණව ඇත.
 
අල්ලාගෙන නෙරිය අතකින්‌ කිමද           නඟෝ
වසාගෙන දෙතන අතකින්‌ කිමද            නඟෝ
හිමියෙක්‌ නැති ගමන්‌ තනි මඟ කිමද       නඟෝ
අම්බලමේ ඉඳලා අපි යමුද                 නඟෝ
 
තරුණයකු විසින්‌ තනි මඟ යන තරුණියක දුටු පමණින්‌ තම සිත තුළ පහළ වූ හැඟීම්‌ එසේ
ප්‍රකාශ වුව ද ඊට පිළිතුරු කවිය මඟින්‌ සමාජයේ අගය කළ ගුණධර්ම පමණක් නොව
ස්ථානෝචිත ප්‍රඥාව ද ඉස්මතු කොට පෙන්වා දීමට ගෙන ඇති උත්සාහය මෙයින්‌ දැකගත හැකිය.
 
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන     හින්දා
වසාගෙන දෙතන බිළිඳුගේ කිරි       හින්දා
බාල මස්සිනා පස්සෙන්‌ එන          හින්දා
යඤ්ඤං අය්යණ්ඩි ගමරට දුර         හින්දා
  
නාඹර තරුණියක දැක ප්‍රබෝධයට පත්ව හැඟීම්‌ ප්‍රකාශනය කරන තවත්‌ තරුණයකු
 
කන්ද උඩින්‌ එන කිකිළිය     ගෝමරියේ
නළල්‌ වටින්‌ එන දාඩිය මුතු     කැටියේ
අත පාමුදු පය පාමුදු       වයිරොඩියේ
මට පිටු පා ගෙට යනවද     සුරතලියේ
 
යයි සඳහන්‌ කරන්නේ තරුණියකගේ රූප ශෝභාව ඔහු දකින අයුරිනි. එසේම සමාජයේ
කාන්තාව පිළිබඳ ආකල්පය කදිමට නිරූපණය කරන පහත සඳහන්‌ ජනකවිය ජනශ්‍රැති තුළට
එක්‌ වී ඇත්තේ සමස්ත සමාජයේ ඒකමතික පිළිගැනීම එය වූ නිසා යැයි සිතාගැනීම අපහසු
නොවනු ඇත.
 
ලියට ආබරණ නම්‌ කල්‌       කිරියාව
හොඳට රැකගන්න එකවද     සිරියාව
එමට වස්තු තිබුණත්‌ ගොඩමඩ   යාව
කුමට ලියගෙ කැත වුණිනම්‌   කිරියාව
 
මෙලෙස බැලූ කල්හි කලින්‌ සඳහන්‌ කළ පරිදි ජනශ්‍රැති බවට පත්‌ වීමේදී ජන නිර්මාණවල
පොදු ගුණය, ගුණධර්ම, දනුම්‌ අන්තර්ගත වීම ආදී ලක්‍ෂණ අනිවාර්ය වන අන්දම ප්‍රත්‍යක්‍ෂ
කොටගත හැකි වනු ඇත.
 
මෙසේ සමාජයේ අදහස්‌, හැඟීම්‌ ආදිය ප්‍රකාශනය කිරීමේදී වාචික සම්ප්‍රදාය පමණක්‌ නොව,
භෞතික නිර්මාණද නැටුම්‌, ගැයුම්‌, මුර්ති චිත්‍ර වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණද එකී ප්‍රකාශනයන්ගේ
ජීවමාන ප්‍රතිඵල ලෙස හුවා දක්විය හැකිය. පසුකාලීන සම්භාව්‍ය සාහිත්‍යයට අයත්‌ අග්‍රගණයේ
ලේඛනගත කවි, කථා, ප්‍රබන්ධ ලෙසින්‌ බිහි වූයේ මුල්‌ යුගවල ජනශ්‍රැති ගණයේ පැවැති මෙම
ප්‍රකාශන කුසලතාවන්‌ පිළිබිඹුවක් නොවිය හැකිද?