එදා වැදුම්‌ගෙයි (තිඹිරිගෙයි) සිරිත්
අද මෙන් එදා දරු ප්‍රසූතියට රෝහල් යෑමක් නැත. ඒ කාලයේදී බබා
ලැබෙන්න ආසන්නයේ නිවසේ කාමරයක රෙදිවලින් තිර ඇද සකස් කර ගන්නා අතර එයට වැදුම්ගෙය
හෙවත් තිඹිරිගෙය යයි පවසනවා.
ගර්භණී
මවගේ වැඩකටයුතු සඳහා ගමේ වැඩිමහලු කාන්තාවක් ළමයින්ගේ වැඩකටයුතු ගැන පළපුරුදුකම්
ඇති අයෙකු ලෙස පත්කර ගනියි. ඒ අයට කියන්නේ වින්නඹු මව හෝ දායම්මා යනුවෙනි. ඒ නම පටබැඳී
තිබෙන්නේ දරුවන්ගේ වැඩකටයුතු සහ මවගේ වැඩකටයුතු සඳහා මනා දනුවත්කමක් ඇති නිසාය.
මවට වාත අමාරුවක්ද, එසේ නැත්නම් ප්‍රසව වේදනාවක්ද යන්න දනගැනීම සඳහා ඒ අයගේ පිළිවෙත මෙයයි.
ගමෙන් ගොඩෙන් හොයාගන්න බැබිල, හීන්ගොටුකොළ, පොල්පලා, සුදුලූනු යනාදිය තමබා බීමට දීමයි. වාත අමාරුවක්
නම් ඇරිලා යනවා. ප්‍රසව වේදනාව නම් වැඩි වෙනවා.
දරුවාත් මවත් සැපතට පත්
වූ විට (දෙන්නා දෙගොඩ වැටුණු පසු) පන්සලට ගොස් පූජා පවත්වා දෙවියන්ට, ඥාතීන්ට
(මළගිය) පිංදෙන බවට පොරොන්දු වී කහ දියරෙන් සේදු කාසියක් පිරිසිදු රෙදි (සුදු
රෙදි) කඩක ගැට ගසා ගැබිනියගේ ඇඳ විට්ටමේ ගැටගසන්නේ ඇය වැදුම් ගෙට ගත් විගසය. ඇඳ
මත ගැබිනිය හාන්සි කරවා අවස්ථාවට අවශ්‍ය උණුදිය බේසමක්, සබන්, සිනිඳු කපුරෙදි
කැබැල්ලක් (දරුවා පිස දමීමට) කතුරක් ආදිය පසෙක තබයි. නිවසේ අම්මා කාමරයෙන්
එළියට කොට දොර වසා ගනී.
ඉන් අනතුරුව වින්නඹු මව තුන් සූත්‍රය
සහිත අංගුලිමාල පිරිත ගර්භණී මවට ඇසෙන සේ කියමින් තලතෙල් වැනි තෙල් වර්ගයක් ඒ මවට
ප්‍රසව වේදනාව පහ වී ප්‍රසූතිය පහසු වීමට ගර්භණී මවගේ කුසයේ ගාමින් සෙමෙන් සෙමෙන්
පිරිමදිනවා. බුදුගුණ ඇසීමෙන් මවගේ ප්‍රසූතිය පහසු වී ළමයා මෙලොව එළිය දකිනවා යන්න
පැරැන්නන්ගේ මතයයි.
ළමයා ලැබී සුළු වෙලාවකින් මව ගැන ඉතා පරීක්ෂාවෙන්
බලා සිටින දෙයක් තමයි ළමයා කුසේ රැඳී සිටි සිවිය (වැදෑමහ) මවගෙන් පහ වීම. සුළු වේලාවකින්
පහ නොවුණොත් මව අනතුරේය. ඒ අවස්ථාවේ වින්නඹු මව අර මවගේ කෙස් වැටිය හෝ හවරියක් ගෙන
මුඛය තුළට දමනවා. එවිට මවගේ උගුරේ කෙස්රොද දවටුණු විට ඔක්කාර ගතියක් හැදෙනවා. ඒ සමඟ
අර මවගේ වැදෑමහ ඔක්කාරය හේතුවෙන් පිට වන නිසා තමයි කෙස් වැටිය එසේ භාවිත කරන්නේ.
වර්තමානයේ මෙන් එකල වෙලාව බලාගන්න ඔරලෝසුව
තිබුණේ ගමේ එහෙමත් තැනකයි. ඒ නිසා
ළමයාගේ
උපන් වේලාව ගන්නේ මෙහෙමයි. ළමයා ලැබුණු විගසම ගෙදර ඉන්න පිරිමියාට තමයි ඒ රාජකාරිය
හාර වෙන්නේ. අව්ව තියෙන වෙලාවක් නම් පියවර මැන සකස් කර ගත්තා. නැතිනම් ගෙවත්තේ තියෙන
කෙසෙල් ගසක් කපා බිම හෙළනවා. ඒ ගසේ ගොබේ ඇඳීමේ ගණනින් වෙලාව සකස් කරගත්තා.
ගැබිනියගේ කෙඳිරියත් නැවතී දරුවාගේ හැඬීම ඇසුණු විගස කාමරයේ දොර හැර
පිට කළ අම්මා (ආච්චි) ඇතුළට ගනියි. වැඩ කටයුතු හමාර කළ විගස රන් මුද්දක් ආච්චි
විසින් දායම්මාට දෙයි. එවිට හැන්දකට ගැබිනියගෙන් කිරි පොදක් දොවා රන් මුද්ද
එහි අතුල්ලා එම කිරි දරුවාගේ කටට දමයි. එය රන්කිරි කට ගෑමයි.
පුතෙකු
ලැබුණොත් වැඩිහිටියො කියන්නේ සරමක් ලැබුණා කියලා. දුවක ලැබුණොත් කියන්නේ කම්බායක්
ලැබුණා කියලා. ඉතින් ඒ අය දැනගන්නවා පුතාද දුවද ලැබුණෙ කියලා. ඒ කියන්නේ පුතාලා අඳින්නේ
සරමක් නේ. දුවලා අඳින්නේ කම්බායක් නේ. එහෙම කීවේ ඒ නිසයි.
බබා ලැබිච්ච මවගේ ඇඟේපතේ වේදනාව සමනය වෙන්න
කොළවතුර කියා ඹෟෂධ කොළ වර්ග (කොළ තුඹ, බෙහෙත් එරඬු, නික, බෙලි, වංඇපල, ඉකිරි, යනාදියයි)
තම්බා දින තුනක් ඇඟ අත පය මුහුණ හංදි තුනටිය ආදී ස්ථාන තවා ඇඟ සෝදනවා. එයට තමයි කොළ
වතුර නානවා කියන්නේ.
බබා ලැබීමෙන් පසු උදරය නෙරා නොඒමටත් තුනටිය
වේදනා නැති වීමටත්, අටරියනක් පමණ දිග සාරියක් හෝ වේට්ටියක් වැනි
රෙද්දක් අඟල් 6-7 පමණ මහතට නවා සතියේ හොඳ දවසක් තෝරාගෙන වැඩිහිටි කාන්තාවක විසින්
ඉණට ඔතනවා. එයට තමයි වෙළුම දමීම කියන්නේ.
නැකතක් සාදවා දරුවා එළියට
වඩන තුරු කාමරයෙන් පිටතට නොගනියි. නියමිත දින නැකතට දරුවා සුදු රෙද්දකින් ඔතා දායම්මා නැකතට දොරකඩින් මිදුලට බැස ගෙට ගොඩ වී ආච්චි අතට දරුවා දෙයි. නිවසේ කිරිබත් උයා කැවුම් සාදා ගෙදර කවුරුත් එක් වී තේ පැන් සංග්‍රහය භූක්ති විඳිති.
ඉන්පසු දරුවා සහ මව
නිදුක් නීරෝගීව සිටී නම් ඉදිරියට ඇති පුරපසළොස්වක පොහොයට ගමේ ජනතාවගේ
දුක, සැප දෙකට
පිහිට වන ප්‍රධාන වයස්ගත උපාසිකාව පැමිණ දරුවාත් මවත් පවුලේ කිහිප දෙනෙක් සමඟ
විහාරයට ගොස් ඒ පින්කම් කොට දරුවාටත් මවටත් සෙත්පතා පොරොන්දු වූ බාරය ඉටුකරති.
පොත පත හා ජන ශ්‍රැති ඇසුරිනි.
No comments:
Post a Comment